ලේකම්තුමාගේ පණිවුඩය

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කර ඇතද, එහි මූලාරම්භය 1946 වර්ෂය තෙක් ඈතට දිව යයි. ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 55 වන ව්‍යවස්ථාව පරිදි රජයේ නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම්, ඔවුන් කෙරෙහි විනය පාලනය හා සේවයෙන් නෙරපා හැරීම යන බලතල මෙම කොමිෂන් සභාව වෙත පවරා දී ඇත.

ජනාධිපතිවරයා විසින් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන නිලධාරීන්ද, විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන නිලධාරීන්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද හැරුණු කොට අනෙකුත් සියලු රජයේ නිලධාරීන් මෙන්ම සියලු පළාත් සභාවල අධ්‍යාපන ක්ෂේත්‍ර‍යට සම්බන්ධ නිලධාරීන්ද ඇතුළුව දස ලක්ෂයකට ආසන්න සේවාලාභීන් පිරිසක් වෙත මෙම කොමිෂන් සභාවෙන් සේවය සැලසෙයි. කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කොමිෂන් සභාව සතු බලතල ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 56 සහ 57 වගන්ති ප්‍ර‍කාරව කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති අධ්‍යාපන හා සෞඛ්‍ය කමිටු දෙකකට හා අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍ර‍ධානීන් වැනි නිලධාරීන්ට පවරා දී ඇති අතර, එසේ පවරා දුන්නද, සියලු නිලධාරීන්ගේ අභියාචනා බලධාරිත්වය කොමිෂන් සභාව සතුව පවතී.

කොමිෂන් සභාව වෙත දෛනිකව ලැබෙන ඉල්ලීම් ප්‍ර‍මාණය ඉතා විශාල සංඛ්‍යාවක් වීම අභියෝගයක් වුවද එහිදී අප මුහුණ දෙන ප්‍ර‍ධාන ගැටලු කිහිපයක් පවතී. එනම්, අනුමත කාර්ය මණ්ඩලය 230ක් පමණ වීම, ඉල්ලීම් සම්බන්ධයෙන් කැඳවනු ලබන වාර්තා ලැබීමේ අසාමාන්‍ය ප්‍ර‍මාදය, අඩුපාඩු සහිත හෝ අසම්පූර්ණ හෝ නියමිත ආකෘතියේ නොවන හෝ වාර්තා සැපයීම, ආදිය වේ. එවැනි හේතු නිසා අප විසින් ලබා දෙනු ලබන සේවාවන් කලට වේලාවට ලබාදීමේ දුෂ්කරතාවයකට අප මුහුණ දී ඇති අතර, ඒ නිසාම මෙම කොමිෂන් සභාව දෝෂ දර්ශනයට ලක් වන අවස්ථාද ඇත. මෙම අභියෝගය ජය ගැනීම පිණිස සන්නිවේදන තාක්ෂණය හැකිතාක් උපයෝගී කර ගැනීමට අප දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින්නෙමු. ඒ සඳහා නවීකරණය කරන ලද මෙම වෙබ් අඩවිය හඳුන්වාදීමට හැකිවීම ඔබ වෙනුවෙන් අප ලද සැලකිය යුතු ජයග්‍ර‍හණයක් බව මම විශ්වාස කරමි. මෙම වෙබ් අඩවිය මඟින් ඔබට පහත සඳහන් සේවාවන් ලබාගත හැකි බව සතුටින් සිහිපත් කරමි.

  • කොමිෂන් සභාව විසින් ප්‍ර‍කාශයට පත්කරනු ලබන චක්‍රලේඛ, රීති, බඳවා ගැනීමේ පරිපාටි, ස්ථානමාරු පරිපාටි, පුරවැසි ප්‍රඥප්තිය ආදිය පහසුවෙන් පරිශීලනය කිරීමට හැකිවීම.
  • විවිධ අයදුම්පත් සහ ආකෘතිපත්‍ර‍ බාගත කර ගැනීමට හැකිවීම.
  • කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන නිවේදන, දැන්වීම් අප්‍ර‍මාදීව දැනගැනීමට හැකිවීම.
  • කොමිෂන් සභාව විසින් දෛනිකව ගනු ලබන තීරණ පිළිබඳ සාරාංශයක් වැඩකරන දින 02ක් ඇතුළත ප්‍ර‍තිලාභීන්ට දැනගැනීමට හැකිවීම.
  • එක් එක් ප්‍ර‍තිලාභියාට තමන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ විස්තරයක් වෙබ් අඩවියට පිවිසීම මඟින් නිරීක්ෂණය කළ හැකිවීම.
  • වෙබ් අඩවිය හා සම්බන්ධ දත්ත කළමනාකරණ පද්ධතිය මඟින් ඔබේ ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ වර්තමාන ප්‍ර‍ගතිය ඔබේ ජංගම දුරකතනය හරහා කෙටි පණිවුඩයක් මඟින් ලබාගැනීමට හැකිවීම.
  • කොමිෂන් සභාවට අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍ර‍මයට එවීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට/ දෙපාර්තමේන්තු ප්‍ර‍ධානීන්ට හැකිවීම ඇතුළු තවත් විවිධ සේවාවන්.

මෙමඟින් අප බලාපොරොත්තු වනුයේ, ඔබ මෙම කාර්යාලයට පැමිණීම හා නිරන්තරයෙන් කාර්යාලයේ නිලධාරීන් ඇමතීම අවම කිරීම මඟින් ඔබේ කාලය, ශ්‍ර‍මය, ධනය ඉතිරි කිරීමත් , ඔබ වෙනුවෙන් හැකි ඉක්මණින් කාර්යක්ෂම සේවාවක් ලබාදීමත්, කාර්යාලයේ නිලධාරීන්ගේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමත්, තොරතුරු පනත යටතේ ලැබෙන ඉල්ලීම් අවම කරගැනීමත්, රාජ්‍ය සේවයේ විනිවිදභාවය පවත්වාගෙන යාමත් ඇතුළු යහපත් ගුණාංග වලින් සපිරි රාජ්‍ය සේවයක් ඔබ හට ලබාදීමත්ය. ඒ සඳහා මෙම කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු සියලු සාමාජික සාමාජිකාවන්ගේද, කමිටු සභාපතිවරුන් හා සාමාජික සාමාජිකාවන්ගේද, ලේකම්වරයා ලෙස මා ඇතුළු සියලු නිලධාරීන්ගේද උපරිම කැපවීම ඔබ වෙනුවෙන් ලබාදීමට සූදානමින් සිටින අතර, ඒ සඳහා ඔබගේ සහායද අපේක්ෂා කරමි.

ජාතියේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවුනු රාජ්‍ය සේවයක් උදෙසා කටයුතු කිරීම අපගේ දැක්මයි.