ඉතිහාසය

ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1946 මැයි මස 15 දිනැති ලංකා (ආණ්ඩුක්‍රම) රාජාඥාව මගින් ප්‍රථම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. එමගින්, රාජ්‍ය නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම් පිළිබඳ විධායක බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙන ලදී.

වර්ෂ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග, එතෙක් වසර විසි හයක් පුරා ස්වාධීන ව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කරන ලද අතර රාජ්‍ය සේවය පිළිබඳ අධිකාරී බලය අමාත්‍ය මණ්ඩලය වෙත පවරා දෙනු ලැබිණ.

වර්ෂ 1978 දී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර, එම කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කිරීම උක්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 56(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබීය. අමාත්‍ය මණ්ඩලයේ අභිනියෝජිත බලය ප්‍රකාර ව එම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක විය.

වර්ෂ 1978 දි, අමාත්‍ය මණ්ඩල නියෝග ප්‍රකාරව, රජයේ නිලධාරීන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පවරා දෙනු ලැබිණ. රාජ්‍ය සේවා ‍කොමිෂන් සභාව අභියාචනා බලධරයා වශයෙන් ක්‍රියාත්මක විය. [ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58(1) හා 58(2) ව්‍යවස්ථා].

පසුව, වර්ෂ 1992 දී, එතෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පවරා තිබූ මාණ්ඩලික ශ්‍රේණිවල රජයේ නිලධාරීන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පවරා දෙනු ලැබිණ. කොමිෂන් සභාව හෝ එමගින් බලය අභිනියෝජිත කමිටුවක් විසින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට, අමුතු කිරීමට හෝ අවලංගු කිරීමට බලතල අමාත්‍ය මණ්ඩලය වෙත රඳවා ගනු ලැබිණ.

වර්ෂ 2001 දී, 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්, රාජ්‍ය සේවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එතෙක් පැවති IX වන පරිච්ඡේදය පරිච්ඡින්න කොට නව පරිච්ඡේදයක් ඇතුලත් කරන ලදී. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයන් නව දෙනෙකුගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමන්විත වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් එම සාමාජිකයන් අතුරෙන් එක් අයෙකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුණි. මෙම සංශෝධනය මගින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තත්ත්වය ප්‍රබල වෙනසකට භාජනය වූ අතර, ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව, රාජ්‍ය සේවයේ පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා විනය පාලනය කිරීම පිලිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී තිබුණු බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරිණි. තවද මෙහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට වගකීමට හා පිළිතුරු දීමට බැඳී සිටින ආයතනයක් බවට පත් කෙරිණි.

වර්ෂ 2010 දී, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්ථාපනය හා කර්තව්‍යයන්ට අදාළ කරුණු සංශෝධනය කරනු ලැබ ඇත. මෙය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට පිළිතුරු දිය යුතු කොමිෂන් සභාවකි. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත 54(1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් නව දෙනෙකුගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමන්විත වේ. ජනාධිපතිවරයා විසින් එම සාමාජිකයන් අතුරෙන් එක් අයෙකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබේ. ඔවුහු තෙවසරක කාල පරිච්ජේදයක් සඳහා ස්වකීය ධූර හොබවන අතර, තවදුරටත් එවැනි එක් කාල පරිච්ජේදයක් සඳහා නැවත පත් කරනු ලැබීමට සුදුස්සන් වනු ඇත. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත 55(1) ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් රජයේ නිලධරයන්ට අදාළ සියලු ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්විය යුත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව, පොලිස් නිලධාරීන් ද ඇතුළුව රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා ඔවුන් විෂයයෙහි විනය පාලනය කිරීම පිලිබඳ බලතල කොමිෂන් සභාව වෙත පවරා ඇත.

වර්ෂ 2015 දී 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කරන ලදී. එහිදී, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලබන නව (09) දෙනෙකුගෙන් සමන්විත සාමාජිකයින් පිරිසක් ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාව සඳහා පත්කරනු ලබන්නේය. එසේම, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, ජනාධිපතිවරයා විසින් එක් සාමාජිකයෙකු සභාපතිවරයා ලෙස පත්කරනු ලබන්නේය. 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන වූ ජාතික පොලිස් කොමිෂන් සභාවක්ද, විගණන කොමිෂන් සභාවක්ද, අලුතින් ස්ථාපිත කිරීම හේතුවෙන් එම කොමිෂන් සභා 02න් පත්කරනු ලබන නිලධාරීන් සම්බන්ධව පත්කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම්, ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීම් සහ සේවයෙන් පහකිරීමේ කටයුතු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයෙන් ඉවත් විය.

වර්ෂ 2020 දී සිදුකරන ලද 20 වැනි ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තු සභාවක් ස්ථාපිත කළ අතර, එම සභාවේ නිරීක්ෂණ මත 5 දෙනෙකුට නොඅඩු හා 9 දෙනෙකුට නොවැඩි සාමාජිකයින් පිරිසක් ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාවට පත්කරනු ලබන්නේය. එසේම, එතෙක් පැවති විගණන කොමිෂන් සභාව අහෝසි කරමින් එම කොමිෂන් සභාවෙන් සිදුකරන ලද විගණන සේවයේ නිලධාරීන් පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහකිරීම් ආදී සියලු කාර්යන්ද, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඉටුකරන ලද පොලිස් නිලධාරීන් පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහකිරීම් යන කාර්යන්ද නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙනු ලැබිණි.

ඒ අනුව, වර්තමානයේදී ජනාධිපතිවරයා විසින් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් හැර අනෙකුත් සියලුම රජයේ නිලධාරීන් මෙන්ම, පලාත් සභාවන්හි අධ්‍යාපන ක්ෂේත්‍ර‍යට සම්බන්ධ නිලධාරීන් ඇතුළුව සමස්තයක් ලෙස ගත් කළ, දස ලක්ෂයකට ආසන්න රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම් සහ ඔවුන් විෂයෙහි විනය පාලනය සහ සේවයෙන් පහකිරීමේ කටයුතු මෙම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ.